Sunday, March 2, 2014

කේ.කේ.සමන් කුමාරගේ කෙටිකතා

සමන් කුමාර කෙටිකතාකරණයේ දී සම්මත කෙටිකතාවෙන් පරිබාහිර වූ අත්දැකීම් සිය නිර්මාණවලට විෂය කර ගැනීමට පෙළඹුණු බැව් පෙනේ.  අජිත් තිලකසේන හා ටෙනිසන් පෙරේරා බඳු නූතනවාදී ලේඛකයන්ගේ කෙටිකතාවල මෙන් ඔහුගේ කතාවල ද මුල, මැද, අග සහිත කතා පුවතක් දැකිය නොහැකි ය.  චරිත ක‍්‍රියාකාරකම් නිරූපණය කිරීමට තුඩුදෙන අත්දැකීම් ද ඔහුගේ කතාවලට පාදක නොවුණු සේ ය.  නවීනත්වය විසින් සංකීර්ණ කරනු ලැබ ඇති අද්‍යතන සමාජයේ ක්‍ෂණ භංගුර පැවැත්මකින් යුත් අත්දැකීම් මනෝවිශ්ලේෂණයට තුඩුදෙන අයුරින් විවරණය කිරීමට ඔහු නැඹුරු වූ බැව් පෙනේ.  එකකට එකක් වෙන්කර ගත නොහැකි සමාජ ප‍්‍රපංචයන්ගේ ක‍්‍රියාකාරිත්වය රූපණය කිරීමට හැකිතාක් දුරට ඔහු නැඹුරු වූ බැව් පෙනේ.  එබඳු අත්දැකීම්වල මුල මැද අග අතර සම්බන්ධයක් නැත.  කතාව ආරම්භයේ දී ඉස්මතු කරන සංසිද්ධි කතාවේ මැදට යන විට පාඨකයාට අමතක වෙයි.  කතාව මැද දී රූපණය කෙරෙන සිදුවීම්, කතාවේ අගට යන විට කෙබඳු දැයි සිතාගත නොහැකි ය.  මෙබඳු කෙටිකතාවල කාලය හා අවකාශය අතර පැහැදිලි සම්බන්ධයක් ග‍්‍රහණය කරගත නොහැකි ය.  සමස්ත කෙටිකතාවේ අස්ථිත්වය නම් ක්‍ෂණ භංගුරත්වයයි.
      නවීන කෙටිකතාව කතාවක් කීමේ අධ්‍යාසය පෙරදැරිකරගත් මාධ්‍යමය සීමා ඛණ්ඩනය කර, එහි උච්චතම සන්ධිස්ථානය කරා සමීප වී සිටී.  කෙටිකතාව මේ වන විට ශ‍්‍රව්‍ය දෘශ්‍ය සංකල්ප මතු කරන රූපණ මාධ්‍යයක් බවට පත් ව ඇත.  අතිශයින් කම්පනශීලී සංවේදී භාව සසල මනෝගත හා උද්වේගකර සමාජමය පිපිරීම් බඳු අත්දැකීම් නිරූපණයට බටහිර ලේඛකයන් ළගන්නාසුලූ මාධ්‍යය බවට පත්කරගෙන ඇත්තේ කෙටිකතාව ය.  නවීන කෙටිකතාව ආකූල හා ව්‍යාකූල පුද්ගල හා සමාජමය අනුභූතියක් කිසියම් රේඛණයක් ඔස්සේ විදාරණය කිරීමට ගන්නා උත්සාහයක් පමණි.
      විද්‍යාත්මක ලෝකයේ තාක්ෂණික ආධිපත්‍යයට නතුව ඇති කෙටිකතාව අද දෘශ්‍ය ශ‍්‍රව්‍ය මාධ්‍යයට අනුරූපී වූ මගක ගමන් ගනු පෙනේ.  කවි මගට අනුගත වූ නවීන කෙටිකතාකරුවා එහි දී සීමා ඛණ්ඩනය කරමින් කිසියම් සසල මනෝභාවයක් නිරූපණයේ දී එකවර ඇස ද කන ද යොමු කරගත හැකි අයුරින් විවිධ ශිල්පීය උපක‍්‍රම භාවිත කිරීමට පෙළඹෙයි.
      මුලූමහත් විශ්ව සාහිත්‍යය පමණක් නොව විවිධ විෂය ක්ෂේත‍්‍ර පිළිබඳ අවබෝධයෙන් තොර ව සමන් කුමාරගේ කෙටිකතාවල අභ්‍යන්තර හරය ගැඹුරින් වටහා ගත නොහැකි ය.  දර්ශනය, මනෝවිද්‍යාව ගැඹුරින් වටහා ගත නොහැකි ය.  දර්ශනය, මනෝවිද්‍යාව, වාග් විද්‍යාව, රසායන විද්‍යාව, සත්ත්ව විද්‍යාව, ජීව විද්‍යාව, ඉතිහාසය, පුරාවිද්‍යාව හා මාක්ස්වාදය යන විෂය ක්ෂේත‍්‍ර පිළිබඳ අවබෝධයක් නොමැති නම් ඇතැම් කතාවක යථාර්ථය හා බැඳුණු ලේඛක අධ්‍යාසය ගැඹුරින් පසක් කර ගත නොහැකි ය.
      සමන් කුමාරගේ කෙටිකතාවලින් අපට හුරු පුරුදු ස්ථාවර ක‍්‍රියාකාරකම් පද්ධතියකින් යුත් සමාජය හඳුනාගත නොහැකි ය.  කෙටිකතාවේ සම්මතය අභියෝගයකට හසු කරන ඔහු බුද්ධියෙන්, නුවණැසින් සංජානනය කළ යුතු ලෝකය - සමාජය ග‍්‍රහණය කරගැනීමට උත්සාහ දරා ඇත.  පියවි ඇසින් ග‍්‍රහණය කරගත නොහැකි එහෙත් අපගේ මනඃවෘත්තිය මෙහෙයවන ලෝකයේ සත්‍යය විදාරණය කිරීමට සමන් කුමාර පෙළඹුණු බැව් පෙනේ.  නිසි පිළිවෙලකට සැලැස්මකට ගොදුරු කර ගත නොහැකි ලෝකය - උඩු යටිකුරු වී විසිරුණු විඥානගත ක‍්‍රියාවලියකින් සංකීර්ණ වූ අද්‍යතන ලෝකයේ සත්‍යය කෙටිකතා මාධ්‍යයෙන් විදාරණය කිරීමට කෙටිකතාකරුවා කුසලතා පූර්ණ වූ සේ ය.  භෞතික හා මානසික ක‍්‍රියාකාරකම්වලින් සංකීර්ණ වූ, ආකූල වූ සමාජ සත්‍යය විනිවිද දැක නිරූපණය කිරීමට ඔහු උත්සාහ ගත් බැව් පෙනේ.  සම්මත සදාචාර ධර්ම අභියෝගයට හා විවේචනයට හසුකරන ආකාරයේ අත්දැකීම් සමන් කුමාරගේ ඇතැම් කෙටිකතාවලට වස්තු විෂය වූ බැව් පෙනේ.  



මහාචාර්ය කුලතිලක කුමාරසිංහ (සාහිත්‍ය උත්සව විශේෂ කලාපය 2008)

1 comment:

  1. තාම කියවල නැති නිසා කිසිම අදහසක් මට නම් නැහැ සමන් කුමාරගේ කෘති ගැන.

    ReplyDelete