Friday, March 7, 2014

සර්පයාට සෝර්බාවරයෙකුගෙන් ලියමනක් !!!





සර්පයා, උඹ දැන් හරි ජනප්‍රියයි. පහුගිය දවස් කීපයේම දේවල් කියවලා බැලුවාම අඬනවද හිනාවෙනවාද කියලා හිතාගන්න බෑ. කොහොම හරි උඹ පොත ගැන අද කියවයි. හෙටත් කියවයි. ඊට පස්සේ.... අන්න එදාට උඹ මේ ලියමන කියවපං. මම කවුද කොයි වර්ගයේ සෝබාවරයෙක්ද කියලා හොයන්න මහංසිවෙන්න එපා.
මට උඹට එකක් අවංකව ලියන්න පුලුවන්. ඒක තමයි මම උඹේ ලියවිලි ගැන ලියන්නේ නෑ. ඒවා ගැන ඉන්න ඔස්තාර්ලා ලියලා ඉවරයි. මම උඹට ලියන්නේ උඹේ ජීවිතය ගැන. උඹ ජීවිතේ ඇතුලේ බුදුවෙන එක ගැන. ලංකාවේ බුද්ධ සාසන අමාත්‍යාංශය කලබල වෙන්න ​ඕනේ නෑ. මගේ මේ කියන බුදුවීම සහ ඔහෙලාගේ බුදුවීම සම්පූර්ණයෙන්ම සර්වකාලීනවම දෙකක්. මම මේ කියන්නේ ජීවිතය නම් වූ සාසනය තුළ බුදුවීම ගැන.
"සර්පයා බුදුවෙලා"
ඇත්ත සර්පයා බුදුවෙලා. ඌ ෂඩ් ශාස්තෲන් ගානේ කරක් ගැහුවා කාලයක්. මේ ජීවිතයේ අලුත් රිද්මය අල්ල ගන්න. සර්පයා ලියපුවා ....සර්පයා ඇඩ්වර්ටයිසින් කඩවල කොපි ලියන්න ගියා. රේඩියෝ කඩවලට හීන ලෙහෙලා දෙන්න ගියා. මේ සෑම දෙයක්ම ඇතුලේ ඌ තමන්ගේ ජීවිතයේ රිදම් එක නැත්නම් ජීවිතය සම්බන්ධයෙන් "බුදුවෙන්න ඕනේ වෙන ටෙම්පෝ" එකට ටික ටික ලං වුනා.
" සර්පයා හොද හුස්මක් ගනින්.. හුස්ම ඉහලට .. හුස්ම පහළට... දැන් ඇස් අරපන්."
"ජීවිතය සම්බන්ධයෙන් බුදුවෙන්න කැලෑවැදිලා භාවනා කරන්න ඕනේ නෑ. මොකද මේ මොහොත පට්ට නාගරික ප්‍රදේශ පවා අමනුෂ්‍යයන් වෙසෙන ඝන කැලෑවන්. තවදුරටත් ජීවිතය සම්බන්ධයෙන් ​​මෛත්‍රී භාවනාව වැඩීම පලක් වන්නේ නෑ. මොකද පිසාචයන් ඕජස් ගලන මිනී කන අමුසොහොන්වල ඉඳන් ​​මෛත්‍රී භාවනාව කරලා බුදුවෙන්න බෑ. ඒ අර්ථයෙන් උඹ ජීවිතය සම්බන්ධයෙන් ගත්ත තීරණ හරි. උඹ ​​මෛත්‍රී භාවනාව වෙනුවට පිළිකුල් භාවනාව තෝරගන්නවා. ඒක ඇතුලේ තමයි පසුගිය අවුරුද 3 වගේ ඇතුළත උඹ උඹේ ජීවිතයේ "අමාරුම" සහ උඹේ චවනයකින් කියන "රහම" දේවල් විඳිමින් ඉන්නේ. ඒක විදින්න උඹටම විතරයි පුලුවන්. ජීවිතයේ භාගයක් ඈත්වෙන වෙලාවෙදි උඹ ඒකට අරක්කු දාලා බේරගන්නවා වෙනුවට ඒක ඇතුලේ ධ්‍යාන වඩනවා. තට්ට තනියම. හදිසියේ හරි ඔය පසන් වගේ එකෙක් ආවොත් ඇරෙන්න උඹගේ ධ්‍යානය කඩන්න බලු කපුටෙක්වත් නෑ. හැබැයි උඹ මුණිවරයෙක් නෙමෙයි. මුනිවරු කියන්නේ එක විදිහක කුහක, නීතිරීති ගොඩක් විතරයි. බුදුවෙච්ච එවුන් කියන්නේ ජීවිතය සම්බන්ධයෙන් වෙන ආතල් එකක් විඳිමින් ඉන්න එවුන් පිරිසක්. උඹ සාහිත්‍ය අභ්‍යාස නතර කරලා ජීවිතය අභ්‍යාස කරන්න ගත්ත එක ගැන මට තියෙන්නේ ත්‍රිලක්. බොරු මවාගැනීම වෙනුවට උඹ තුළට උඹවම පුරවන්න උත්සාහ කරමින් ඉන්නවා​"
" සර්පයා හොද හුස්මක් ගනින්.. හුස්ම ඉහලට .. හුස්ම පහළට... දැන් ඇස් අරපන්."

තව අවුරුදු 30 න් පුලුවන් සර්පයා 60 වසරකට පසු කියවීම වගේ එකක් කරන්න.
60ක් නෙමෙයි 100ක් ගියත් ජීවිතේ අල්ල ගන්න ඒ වෙලාව එන්නම ඕනේ. මට හිතෙනවා නිකෝස් කසන්සාකිස් ගේ සෝර්බාගෙන් කෑල්ලක් උඹට උපුටන්න. වෙන මොකටවත් නොවෙයි. ත්‍රිලට.
" ලොක්කා, එක් එක් මිනිහාට වෙන් වූ ස්වර්ග තියෙන බව මම මීට කලින් ඔබ​ට කියා තියෙනවා. ඔබට ස්වර්ගය කියන්නේ තීන්ත කූඩුවයි පොතකුයි. තව කෙනෙකුට වයින්,  රම්,බ්‍රැන්ඩි. තවත් කෙනෙකුට සල්ලි ගොඩවල්. මගේ ස්වර්ගය මේ තමා! සුවඳ කළ කාමරයක්, බිත්තියේ ඒල්ලපු ලස්සන ​වෛවර්ණ පළස්, සුවඳ සබන්, දුනු සහිත ඇඳක් සහ පරිණාමයෙන් බෙදී ආ ගැහැණියක් ! "
උඹට මෙතැනදි තෝරගත්තේ මෙන ස්වර්ගයද කියලා හොයන කොට ඒක උඹේ යුගවලට බෙදිලා යනවා. බුදු වෙන්න යන එකෙකුගේ ජීවිතය යුගවලට බෙදෙනවා. ගෞතම බුද්ධ ගත්තත්, ජීසස් නැතිනම් මොහොමඩ් හරි, ශිව හරි ගත්තත් මේ හැම කෙනෙක්ගෙම ජීවිත යුගවලට බෙදෙනවා. ත්‍රිල යුගයෙන් යුගයට වෙනස් වෙනවා. ජීවිත ඇතුලේ පෙරළි වෙනවා, කැරළි ගහනව, අතුරුදහන්වෙනවා, වෙන වෙන වේස බවට පත්වෙනවා. මේ ඔක්කොම වුනාට පස්සේ එයාල එයාල බවට පත්වෙනවා. මේ සියලු දෙනා කරලා තියෙන්නේ ලෝක ධාතුව තුළ තමන් තමන් බවට පත්වීමට කරලා තියෙන අරගලය. මේක තේරුම් ගත්තේ නැති එකාලා තවම මැටි පිළිමවලට වඳිමින් ඉන්නවා. හැම ​එකෙක්ටම ජීවිත ඇතු​ලේ බුදුවෙන්න පුලුවන්. ඒකට අදාළ යුග තුළ ජීවිතයට අවශ්‍ය ස්පේස් එක නැතිනම් අවකාශය දෙන්න ඕනේ.
සර්පයා, දැන් ඇති බං ලිව්වා. " හොද හුස්මක් ගනින්.. හුස්ම ඉහලට .. හුස්ම පහළට... දැන් ඇස් අරපන්."
එත් උඹට ඉල්ලීමක්/උපදෙසක්/ තර්ජනයක් හෝ ඕන මගුලක් විදිහට මේක ගනින්. මේ අවුරුදු 30 අටමගලෙන් පස්සෙ උඹ ආයේ තනිවෙයන්. පුලුවන්නම් ගල්කිස්ස වෙර​ළට ගිහින් තට්ට තනියම සෝර්බා වගේ නටපන්, තනියම ආයේ හූ කියපං. දවස් කීපයකට වෙබ් එකට හිරකරලා තියෙන ජීවිතේට නැවත නිදහසේ ගලන්න ඉඩ දීපන්... ඇත්තටම ජීවිතේ නිදහස් කරපං. අලුත් යුගයක ජීවිතයට අවශ්‍ය අලුත් ස්පේස් හදපං...

"
කවද හරි දවසක අපි ඒවගේ පොදු ස්පේස් එකකදි හම්බවෙයි."

සෝර්බාවරයෙක් !!!

  
Thursday, 06 March 2014 08:29

            සිව් මංසල කලා සංග්‍රහය


No comments:

Post a Comment