Friday, February 11, 2011

න/ණ,ල/ළ - අත්‍යවශ්‍යද?

 සිංහල භාෂාව යනු කාලයාගේ සිදුවුන විවිධ වෙනස්කම් වලට අනුව හැඩ ගැසෙමින් මේ දක්වාම ස්වකීය අනන්‍යතාවය පවත්වාගෙන ආ දියුනු භාෂාවක්.ලෝකයේ සංවර්ධිත හා නූතන භාෂා ගනයට සිංහලයත් නිසැකවම වැටෙනවා.ඉන්දු ආර්ය භාෂා පවුලට අයිති සිංහලය එම භාෂා පවුලේ අනෙකුත් බොහොමයක් භාෂා වලින් වෙනස් වෙන්නෙ සිංහලයෙහි යෙදෙන අක්ෂර වල ඇති සුවිශේෂී වෙනස නිසා.වටකුරු හා කලාත්මක ස්වරූපයක් ගන්නා සිංහල අක්ෂර සතුව තිබෙන පෞරුෂය එයටම අනන්‍ය වූ එකක්.බ්ලොග් අවකාශය හරහා සිංහලය අන්තර්ජාලය ඔස්සේ බහුල වශයෙන් යොදා ගැනීමට පටන් ගැනීම මෙම සියවස තුලදීත් සිංහල භාෂාව නොනැසී ඉදිරියටත් පරිනාමය වන බවට සපයනු ලබන ඉගියක්.
නමුත් සිංහල ව්‍යාකරනයෙහි -විශේෂයෙන් සිංහලය ලේඛනය තුල භාවිතා වන ආකාරයෙහි -විවිධ ගැටලුකාරී ස්ථාන නොපවතී යන්න ඉන් අදහස් වෙන්නෙ නැහැ.
භාෂාවක් සුඛනම්‍ය වන තරමට එහි භාවිත වටිනාකම වැඩි වෙනවා.සිංහල භාෂාව ලේඛනය තුල යොදා ගැනීමේදී පවතින ඇතැම් අනම්‍ය හා රලු නීති ව්‍යුහයන් විසින් එය සුඛනම්‍ය බවින් අඩු භාවිතා කිරිම අනවශ්‍ය තරමට සංකීර්න එකක් බවට පත් කොට තිබෙනවා.
මෙවැනි එක් සම්මතයක් තමයි සුප්‍රකට න/ණ,ල/ළ භේදය පිලිබද මාතෘකාව.
ඔබ උසස් විභාග සදහා සිංහල හදාරා තිබේ නම් මූර්ධජ සහ දන්තජ න යන්නත් ල යන්නත් යෙදෙන තැන් අතර වෙනස බේරුම් කර ගැනීම කොයිතරම් සංකීර්න දෙයක්ද යන්න අත්දැක ඇති.ඊට හේතුවක් වෙන්නේ මෙම විභේදනය පැහැදිලි තාර්කික පදනමක් මත පදනම් නොවීම.
බොහෝ විට යම් අක්ෂරයක් යොදා ගැනෙන්නේ නිශ්චිත ශබ්දයක් සලකුනු කරන්න.මේ අනුව ගත්තම "බ" සහ "භ"යන්නෙහි වෙනස පැහැදිලියි."බල්ලා"කියන වචනය කවුරුත් "භල්ලා"කියල ලි‍යන්නේ නැහැ.මොකද මහාප්‍රාන අල්පප්‍රාන බෙදීම ශබ්දය මත පදනම් වුන පැහැදිලි බෙදීමක් වන නිසා.
සඤ්ඤක අක්ෂර සහ එසේ නොවන අක්ෂර ගත්තම එතන තියෙන බෙදීමත් පැහැදිලියි සහ තාර්කිකයි."කොලඹ"කියන වචනය "කොලබ"කියල නොලියන්නේ "ඹ"සහ "බ"අතර නිශ්චිත ශබ්දමය වෙනසක් තිබෙන නිසා.
දැන් මේ කතන්දරය මූර්ධජ හා දන්තජ "න/ල"අක්ෂර වලට ගෙනාවම තරමක සංදිග්ධ තත්වයක් මතු වෙන බව නිරීක්ෂනය කරන්න පුලුවන්.
නිවැරදි වචනය "ලමයා"ද?"ළමයා"ද?මෙතනදී සම්මතව භාවිතා වෙන්නේ "ළමයා"කියන පදය නිසා නිවැරදි එය බව යමෙක් පවසාවි.නමුත් අනෙත් පැත්තට "ලමයා" වැරදි වෙලා "ළමයා"පමනක් නිවැරදි වෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නය මතු කරාම දෙන්න උත්තරයක් නැතිව යනවා.හරි යෙදුම "බන්ඩාරනායක"ද?"බණ්ඩාරනායක"ද?
"බල්ලා"කියන පදය "භල්ලා"කියල ලිවීම වැරදියි.මොකද ඒ අකුරු දෙකෙන් එන ශබ්දයේ පැහැදිලි වෙනසක් තිබෙන නිසා.
නමුත් බන්ඩාරනායක කියන වචනය කුමන "න"යන්න යොදල ලිව්වත් උච්චාරනය කරන ආකාරයේ පැහැදිලි වෙනසක් පෙනෙන්නට නැහැ.න/ණ,ල/ළ භේදය යනු පැහැදිලි නිශ්චිත පදනමක් රහිත බෙදීමකි යන තර්කයට වලංගුතාවයක් ලැබෙන්නේ මේ නිසා.
මේ තර්කය අද ඊයේ මතු වුන එකක් නෙමෙයි.දශක ගනනාවකට පෙර සිටම මෙම බෙදීමේ අවශ්‍යතාවය ගැන විවිධ විද්වතුන් සහ භාෂාව පිලිබද උනන්දු වන්නන් ප්‍රශ්න කොට ඇති ආකාරය දැක ගන්න පුලුවන්.නිසදැස් කාව්‍යයේ පුරෝගාමියෙකු වන සිරි ගුනසිංහ වගේ කෙනෙක් න/ණ,ළ/ල භේදය නොසලකා ලේඛනයෙහි යෙදුනු අන්දම ඔහුගේ "සෙවනැල්ල"වගේ නවකතාවක් පරිශීලනය කරද්දී පැහැදිලි වෙනවා.
කෙසේ වුනත් මේ විෂය ගැන න්‍යායික වශයෙන් බොහොම පොහොසත් මැදිහත්වීමක් සිදු කරන්නේ කෙටිකතාකරුවෙක් වන අජිත් තිලකසේන."21 වන සියවසට සිංහල භාෂාවේ නවීකරන"යනුවෙන් කෘතියක් සම්පාදනය කරන ඔහු සිංහල ලේඛනය තුල ඇති ගැටලු ගනනාවක් පැති කිහිපයක් ඔස්සේ මතු කරනවා.මෙසේ මතු කරන ඇතැම් කරුනු සහ යෝජනා ඉතාම විප්ලවකාරියි.කොහොම වුනත් ඔහුත් න/ණ,ල/ළ බෙදීමේ අවශ්‍යතාවය දැඩි ලෙස ප්‍රශ්න කරනවා.
මෑතකදී මේ ප්‍රශ්නයම කතාබහට ලක්වූ තවත් අවස්ථාවක් නම් ගිය වසරේ රාජ්‍ය සම්මාන දිනූ "අටවක පුත්තු"නවකතාවේ ව්‍යාකරනය ගැන ඇති වුන සාකච්ඡාව.එහි රචකයා වූ ලියනගේ අමරකීර්ති මහතා ඉහත භේදය නොසලකා හැර තිබීම එක්තරා අන්දමක ආන්දෝලනයකට තුඩු දුන්නා.
න/ණ,ල/ළ බෙදීමේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින අය බොහෝවිට ඊට පක්ෂව ගෙනෙන තර්කය වන්නේ එම බෙදීම වචනයක් විසින් මතු කරන අර්ථය පැහැදිලි කරගැනීමට අවශ්‍යයි යන්න.මීට තිබෙන ජනප්‍රියම උදාහරනය නම් තන සහ තණ කියන පද දෙකේ වෙනස.න/ණ නොසලකා "තන"කියල වචනය ලියූවිට එහි අර්ථය අපැහැදිලි බව ඔවුන්ගේ තර්කය වෙනවා.
-ගොන තන කයි-කීවාම එක තේරුමකුත් -ගොනා තණ කයි-කීවාම තව තේරුමකුත් එන නිසා න-ණ,ල-ළ යෙදීම අවශ්‍ය යැයි ඔවුන් පවසනවා.
"මල" සහ "මළ" අතර තියෙන වෙනසත් ඒ වගෙයි.
මේ නිරීක්ෂනය තුල යම් වැදගත්කමක් තිබුනත් මේ ප්‍රශ්නය ඇත්තටම ලේඛන ක්‍රියාවලිය තුල ප්‍රායෝගිකව මතුවෙන ගැටලුවක් නෙමෙයි.මොකද අපි වචනයකට තේරුමක් දෙන්නෙ/වචනයට ඇති තේරුම තේරුම් ගන්නේ ඒ වචනය යෙදිල තියෙන වාක්‍යය තුල ඒ වචනය යෙදිල තියෙන ආකාරය අනුව.බහු අර්ථ-අර්ථ එකකට වැඩි ප්‍රමානයක් තියෙන-වෙනත් සිංහල වචන යෙදෙන ආකාරය මෙහිදී සලකමු.
දැන් "සද"කියන වචනයට විවිධ තේරුම් දෙන්න පුලුවන්.පහත වාක්‍ය කිහිපය සැලකිල්ලට ගනිමු.
1.පුර සද රෑට පායා එයි - මෙහි "සද"යන්න යෙදී තිබෙන්නේ චන්ද්‍රයා කියන තේරුමින්
2.මා ගෙදර ආ සද ඇය ගෙදර නොසිටියාය - මෙතැනදී "සද"යන්න යෙදෙන්නේ වෙලාවේ කියන අර්ථයට
3.සකිසද ඔබ කොහිද?.මෙතනදී "සද"ට ලැබෙන්නේ වෙනම තේරුමක්.
දැන් තේරුම් කිහිපයක් තිබුනත් අපි සද කියන පදය ලියන්නේ එකම විදිහකට."චන්ද්‍රයා"කියන තේරුම හගවන්න වෙනම අකුරකුත්,වෙලාව කියන අර්ථය අගවන්න වෙනම අකුරකුත් ආදී වශයෙන් අපි යොදා ගන්නේ නැහැ.එකම විදිහට ලියන පදයට ලැබෙන තේරුම අපි තේරුම් ගන්නේ ඒ පදය යෙදිල තියෙන වාක්‍යයට අනුව."මා ගෙදර ආ සද ඇය නොසිටියාය"කියන වාක්‍යය කියවද්දි මේ කියන්නේ අහසේ තියෙන සද ගැන නෙමෙයි කියල තේරෙනවා.
ඒ වගේම ගොනා තන කයි කියද්දී මේ කන්නේ මොන තනද -තන කියන එකෙන් මෙහිදී අදහස් කරල තියෙන්නෙ මොකක්ද-කියන එක වටහාගන්න පුලුවන්.ඒකට අමුතුවෙන් මූර්ධජ න අකුරක් අක්ෂර මාලාවට දාලා එහි අකුරු සංඛ්‍යාව වැඩි කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.වචනයට අර්ථය ලැබෙන්නේ එය යෙදී තිබෙන වාක්‍යය ආශ්‍රයෙන් වන නිසා එහෙම ගැටලුවක් මතු වීම වැලකෙනවා.
තන,මල වගේ නිදසුන් දෙක තුනක් හැරෙන්නට න/ණ,ල/ළ නිසා අර්ථය වෙනස් වීම්වලට අදාල වෙනත් නිදසුන් සොයා ගැනීමත් දුෂ්කරයි.ඔය නිදසුන් පවා ප්‍රායෝගිකත්වය තකා පැන නැගුනු නිදසුන් වලට වඩා හුදෙක් තර්කයට මුහුන දීම උදෙසා අමාරුවෙන් සොයා ගනු ලැබූ නිදසුන් දෙකක් පමනයි.
න/ණ,ල/ළ බෙදීමේ අවශ්‍යතාවය පිලිබද යලි සලකා බැලීමක් අවශ්‍යයි කියන තර්කය මේ නිසා නොසලකා හැර නොහැක්කක්.මෙතනදී බොහෝ විට ගෙනෙන අදහසක් නම් සිංහල භාෂාව ඔයාලට ඕන විදිහට වෙනස් කරන්න ඔයාල කවුද කියන අදහස.අජිත් තිලකසේන මහතා වගේ කෙනෙක් වෙත මේ ප්‍රශ්නය නිතර වගේ දමා ගසනු ලැබුවා.භාෂාවක පරිනාමය ස්වභාවික එකක් විය යුතු බවත් "කාටවත්"ඕනෙ විදිහ‍ට ඒවා වෙනස් කල නොහැකි බවත් මේ සමගම ගෙනෙන ලද මතයයි.
ඊට අජිත් තිලකසේනයන්ම සිත් ගන්නා සුලු පිලිතුරක් ලබා දී තිබුනා.භාෂාවක පරිනාමය ස්වභාවික විය යුතු බව ඇත්ත.නමුත් අවුවට වැස්සට සුලි සුලං වලට භාෂාවක ලේඛන ස්වරූපය වෙනස් වෙන්නෙ නැහැ.එහි පුරෝගාමීත්වය ගන්න ඕනෙ එහි අඩුපාඩු දුබලතා දකින මිනිස්සු.මේ තිලකසේනයන්ගේ පිලිතුරෙහි තිබූ හරය.
"ස්වභාවික වෙනස්වීම" යන්නට මිනිසාගේ සවිඥානිකත්වය කියන එකත් ඇතුලත්.ව්‍යාකරන නීති සංග්‍රහයක් ලෙස සිදත් සගරාව සම්පාදනය කලේ මිනිසෙක්.එතන තියෙන්නෙ භාෂාව හැඩගස්වන්න සිදුවුන සවිඥානික මිනිස් මැදිහත්වීමක්.  


නූතන සිංහල හෝඩිය භාවිතයට එන්නට පෙර අක්ෂර මාලාව තුල "ෆ"අක්ෂරය තිබුනේ නැහැ.ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල ව්‍යවහාරයට එකතු වී තිබුන ඇතැම් වචන (නිද- ෆෝන්,ජිරාෆ්)ලියන්න මේ අනුව පුලුවන් කමක් තිබුනේ නැහැ.ඒක ලේඛනය තුල තිබුනු අඩුවක්.ඒ අඩුව හදුනාගෙන එය නිවැරදි කොට නූතන සිංහල හෝඩිය සකස් කලේ මිනිස්සු.අවුරුදු ගනනක් ගතවුනාම අපි ඒක ස්වභාවික පරිනාමයක් ලෙස තේරුම් ගන්න පුරුදු වී සිටිනවා.
භාෂාව අනවශ්‍ය විදිහට සංකීර්න කල බැදි අකුරු භාවිතය අත්හැරියේත්,‍ඩ් අක්ෂරය අත්හැර "ං"(බිංදුව)භාවිතය ප්‍රවර්ධනය කලේත් මිනිස් මැදිහත්වීම සහිතව මිනිසුන්ම බව තේරුම් ගැනීම වැදගත්.
 
(රාමචන්ද්‍රගේ අඩවිය 2009-03-08 වන දින පළවු "න/ණ,ල/ළ - අත්‍යවශ්‍යද? " ලිපියෙහි උපුටා ගැනීමකි)

No comments:

Post a Comment