Friday, March 7, 2014

සර්පයාට සෝර්බාවරයෙකුගෙන් ලියමනක් !!!





සර්පයා, උඹ දැන් හරි ජනප්‍රියයි. පහුගිය දවස් කීපයේම දේවල් කියවලා බැලුවාම අඬනවද හිනාවෙනවාද කියලා හිතාගන්න බෑ. කොහොම හරි උඹ පොත ගැන අද කියවයි. හෙටත් කියවයි. ඊට පස්සේ.... අන්න එදාට උඹ මේ ලියමන කියවපං. මම කවුද කොයි වර්ගයේ සෝබාවරයෙක්ද කියලා හොයන්න මහංසිවෙන්න එපා.
මට උඹට එකක් අවංකව ලියන්න පුලුවන්. ඒක තමයි මම උඹේ ලියවිලි ගැන ලියන්නේ නෑ. ඒවා ගැන ඉන්න ඔස්තාර්ලා ලියලා ඉවරයි. මම උඹට ලියන්නේ උඹේ ජීවිතය ගැන. උඹ ජීවිතේ ඇතුලේ බුදුවෙන එක ගැන. ලංකාවේ බුද්ධ සාසන අමාත්‍යාංශය කලබල වෙන්න ​ඕනේ නෑ. මගේ මේ කියන බුදුවීම සහ ඔහෙලාගේ බුදුවීම සම්පූර්ණයෙන්ම සර්වකාලීනවම දෙකක්. මම මේ කියන්නේ ජීවිතය නම් වූ සාසනය තුළ බුදුවීම ගැන.
"සර්පයා බුදුවෙලා"
ඇත්ත සර්පයා බුදුවෙලා. ඌ ෂඩ් ශාස්තෲන් ගානේ කරක් ගැහුවා කාලයක්. මේ ජීවිතයේ අලුත් රිද්මය අල්ල ගන්න. සර්පයා ලියපුවා ....සර්පයා ඇඩ්වර්ටයිසින් කඩවල කොපි ලියන්න ගියා. රේඩියෝ කඩවලට හීන ලෙහෙලා දෙන්න ගියා. මේ සෑම දෙයක්ම ඇතුලේ ඌ තමන්ගේ ජීවිතයේ රිදම් එක නැත්නම් ජීවිතය සම්බන්ධයෙන් "බුදුවෙන්න ඕනේ වෙන ටෙම්පෝ" එකට ටික ටික ලං වුනා.
" සර්පයා හොද හුස්මක් ගනින්.. හුස්ම ඉහලට .. හුස්ම පහළට... දැන් ඇස් අරපන්."
"ජීවිතය සම්බන්ධයෙන් බුදුවෙන්න කැලෑවැදිලා භාවනා කරන්න ඕනේ නෑ. මොකද මේ මොහොත පට්ට නාගරික ප්‍රදේශ පවා අමනුෂ්‍යයන් වෙසෙන ඝන කැලෑවන්. තවදුරටත් ජීවිතය සම්බන්ධයෙන් ​​මෛත්‍රී භාවනාව වැඩීම පලක් වන්නේ නෑ. මොකද පිසාචයන් ඕජස් ගලන මිනී කන අමුසොහොන්වල ඉඳන් ​​මෛත්‍රී භාවනාව කරලා බුදුවෙන්න බෑ. ඒ අර්ථයෙන් උඹ ජීවිතය සම්බන්ධයෙන් ගත්ත තීරණ හරි. උඹ ​​මෛත්‍රී භාවනාව වෙනුවට පිළිකුල් භාවනාව තෝරගන්නවා. ඒක ඇතුලේ තමයි පසුගිය අවුරුද 3 වගේ ඇතුළත උඹ උඹේ ජීවිතයේ "අමාරුම" සහ උඹේ චවනයකින් කියන "රහම" දේවල් විඳිමින් ඉන්නේ. ඒක විදින්න උඹටම විතරයි පුලුවන්. ජීවිතයේ භාගයක් ඈත්වෙන වෙලාවෙදි උඹ ඒකට අරක්කු දාලා බේරගන්නවා වෙනුවට ඒක ඇතුලේ ධ්‍යාන වඩනවා. තට්ට තනියම. හදිසියේ හරි ඔය පසන් වගේ එකෙක් ආවොත් ඇරෙන්න උඹගේ ධ්‍යානය කඩන්න බලු කපුටෙක්වත් නෑ. හැබැයි උඹ මුණිවරයෙක් නෙමෙයි. මුනිවරු කියන්නේ එක විදිහක කුහක, නීතිරීති ගොඩක් විතරයි. බුදුවෙච්ච එවුන් කියන්නේ ජීවිතය සම්බන්ධයෙන් වෙන ආතල් එකක් විඳිමින් ඉන්න එවුන් පිරිසක්. උඹ සාහිත්‍ය අභ්‍යාස නතර කරලා ජීවිතය අභ්‍යාස කරන්න ගත්ත එක ගැන මට තියෙන්නේ ත්‍රිලක්. බොරු මවාගැනීම වෙනුවට උඹ තුළට උඹවම පුරවන්න උත්සාහ කරමින් ඉන්නවා​"
" සර්පයා හොද හුස්මක් ගනින්.. හුස්ම ඉහලට .. හුස්ම පහළට... දැන් ඇස් අරපන්."

තව අවුරුදු 30 න් පුලුවන් සර්පයා 60 වසරකට පසු කියවීම වගේ එකක් කරන්න.
60ක් නෙමෙයි 100ක් ගියත් ජීවිතේ අල්ල ගන්න ඒ වෙලාව එන්නම ඕනේ. මට හිතෙනවා නිකෝස් කසන්සාකිස් ගේ සෝර්බාගෙන් කෑල්ලක් උඹට උපුටන්න. වෙන මොකටවත් නොවෙයි. ත්‍රිලට.
" ලොක්කා, එක් එක් මිනිහාට වෙන් වූ ස්වර්ග තියෙන බව මම මීට කලින් ඔබ​ට කියා තියෙනවා. ඔබට ස්වර්ගය කියන්නේ තීන්ත කූඩුවයි පොතකුයි. තව කෙනෙකුට වයින්,  රම්,බ්‍රැන්ඩි. තවත් කෙනෙකුට සල්ලි ගොඩවල්. මගේ ස්වර්ගය මේ තමා! සුවඳ කළ කාමරයක්, බිත්තියේ ඒල්ලපු ලස්සන ​වෛවර්ණ පළස්, සුවඳ සබන්, දුනු සහිත ඇඳක් සහ පරිණාමයෙන් බෙදී ආ ගැහැණියක් ! "
උඹට මෙතැනදි තෝරගත්තේ මෙන ස්වර්ගයද කියලා හොයන කොට ඒක උඹේ යුගවලට බෙදිලා යනවා. බුදු වෙන්න යන එකෙකුගේ ජීවිතය යුගවලට බෙදෙනවා. ගෞතම බුද්ධ ගත්තත්, ජීසස් නැතිනම් මොහොමඩ් හරි, ශිව හරි ගත්තත් මේ හැම කෙනෙක්ගෙම ජීවිත යුගවලට බෙදෙනවා. ත්‍රිල යුගයෙන් යුගයට වෙනස් වෙනවා. ජීවිත ඇතුලේ පෙරළි වෙනවා, කැරළි ගහනව, අතුරුදහන්වෙනවා, වෙන වෙන වේස බවට පත්වෙනවා. මේ ඔක්කොම වුනාට පස්සේ එයාල එයාල බවට පත්වෙනවා. මේ සියලු දෙනා කරලා තියෙන්නේ ලෝක ධාතුව තුළ තමන් තමන් බවට පත්වීමට කරලා තියෙන අරගලය. මේක තේරුම් ගත්තේ නැති එකාලා තවම මැටි පිළිමවලට වඳිමින් ඉන්නවා. හැම ​එකෙක්ටම ජීවිත ඇතු​ලේ බුදුවෙන්න පුලුවන්. ඒකට අදාළ යුග තුළ ජීවිතයට අවශ්‍ය ස්පේස් එක නැතිනම් අවකාශය දෙන්න ඕනේ.
සර්පයා, දැන් ඇති බං ලිව්වා. " හොද හුස්මක් ගනින්.. හුස්ම ඉහලට .. හුස්ම පහළට... දැන් ඇස් අරපන්."
එත් උඹට ඉල්ලීමක්/උපදෙසක්/ තර්ජනයක් හෝ ඕන මගුලක් විදිහට මේක ගනින්. මේ අවුරුදු 30 අටමගලෙන් පස්සෙ උඹ ආයේ තනිවෙයන්. පුලුවන්නම් ගල්කිස්ස වෙර​ළට ගිහින් තට්ට තනියම සෝර්බා වගේ නටපන්, තනියම ආයේ හූ කියපං. දවස් කීපයකට වෙබ් එකට හිරකරලා තියෙන ජීවිතේට නැවත නිදහසේ ගලන්න ඉඩ දීපන්... ඇත්තටම ජීවිතේ නිදහස් කරපං. අලුත් යුගයක ජීවිතයට අවශ්‍ය අලුත් ස්පේස් හදපං...

"
කවද හරි දවසක අපි ඒවගේ පොදු ස්පේස් එකකදි හම්බවෙයි."

සෝර්බාවරයෙක් !!!

  
Thursday, 06 March 2014 08:29

            සිව් මංසල කලා සංග්‍රහය


Tuesday, March 4, 2014

30 වසරකට පසු 'සර්පයා' කියවීම

KKකේ. ​කේ. සමන් කුමාර ""සර්පයකු හා සටන්වැද" කෙටිකතා සංග්‍රහය ලිව්වේ මීට 30 වසර කට පෙරය. ඉන්පසු හෙතම සර්පයා වූවද මේ සමාජයට විස පෙවන සර්පයෙකු නොවීය. තවමත් ඒ දුප්පත් ජීවිතය එලෙසම නඩත්තු කරමින් සිටින මේ අසූව දශකයේ මිනිසා තවමත් 2000 එපිට එවුන්ටත්වඩා මේ දශකයේ එවුන්ට වඩා සංස්කෘතිකය. දියුණුය. එලෙස වසර 30ක් සම්පූර්ණ වී ඇති සර්පයාගේ සාහිත්‍ය ජීවිතය සමග "සර්පයකු හා සටන්වැද" නැවත කියවීම 2014 මාර්තු 6 වන දින සවස 3.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම කතිකාවේදී "ව්‍යභිචාරය මානව විෂයක්" මැයෙන් දීප්ති කුමාර ගුණරත්න ද, "තිස් වසරක ලාංකීය යථාර්ථය හා ව්‍යභිචාරය" මැයෙන් විදර්ශන කන්නංගර ද, "තිස්වසරක හැව ඇරුම" යනුවෙන් උපුල් ශාන්ත සන්නස්ගල ද අදහස් දක්වනු ඇත. කතිකාව මෙහෙයවීම මොහාන් රාජ් මඩවල විසින් සිදු කෙරෙනු ඇත.

අරුමැසියාගේ තිස් වසර


     
අසූව දශකය දිගු වැඩියැයි කතාව හැබෑවක්මය. මන්ද අසූව දශකයේ දිගුවක් බවට අනූව දශකයද දෙදහ දශකයද පත්ව, එය අවසන් කර ගැනීමට නොහැකි ලතෝනියක්ව ඇත්තේය. කොහොම නමුත් ‘‘ අරුමැසියාගේ තිස් වසර’’ ලියන්ට ගිය කල අසූව යළිත් කතාවක් වන්නේය. සාහිත්‍යයෙන් කේ. කේ. සමන් කුමාරයන්ද, සිනමාවෙන් අශෝක හඳගමයන්ද, කවියෙන් නන්දන වීරසිංහයන්ද, වේදිකාවෙන් ජයලත් මනෝරත්නයන්ද, දේශපාලනයට චම්පික රණවකයන්ද, සමාජ මත මානයෙන් දිප්ති කුමාර ගුණරත්නයන්ද අසූවෙන් උදාන වූ පරප‍්‍රාප්ත පොරවල්ය. මේ අසූවේ දශකයේ නැගී සිටින චරිත අතර සමන් කුමාර හෙවත් සර්පයා සංකේතයක් වන්නේ ඔහුගේ ප‍්‍රථම පොත නිසාවෙන්ය. එත් අතකින් සමන් කුමාර අහම්බයක් සේය. පළමු පොතම සංකේතයක් වුවද මේ අහඹු මිනිසා සිංහළ කතාකලාවේ තමන්ගේ පොතක නම නිසා උපන් නම මකා ගත් ප‍්‍රථමයාද, එකමයාද වන්නේය. මෙහෙම වූ සමන් කුමාර මට ජීවමානව හමුවන්නේ සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ මහ නුග ගහ යටදීය. ‘‘සර්පයා’’ එතැනදී හමුවීම නම් ඇත්තටම දෛවයේ සරදමක් වැනිය. ඒත් ලේඛනයේදී සමන් කුමාරයන්ට සර්පයා කීවද ඔහුව මා අමතන්නේ ‘‘සමන් අයියා’’ කියාය. ඒ ඔහු අසූව දිගු දශකයේ මා හඳුනාගත් අයියලා අල්පයේ අයියා කෙනෙකු වූ නිසාය. කොහොම නමුත් ගැටවර හැඟීම් අරගල කළ කාලයක මගේ ජිවිතය සහමුලින් අනික් පස පෙරලූ පොත් දෙකක් මට හමුවිය. ඒ ඩෙස්මන්ඞ් මොරිස්ගේ ‘‘නිරුවත් වානරයා’’ හා සමන් කුමාරගේ සර්පයකු හා සටන් වැදය. මේ පොත් දෙකම මතක කැරැල්ලක් කරන්නේ එකල මගේ මව මේ පොත් දෙකම වනචර පොත් දැයි බියවූ නිසාය. දහතුන් වන වියේදී කියවූ මෙ පොත් දෙක නිසා සර්පයාද මොරිස්ද එකට බැඳුනි. කොහොමින් හරි බොහෝ දෙනා කේ. කේ. සමන් කුමාර දන්නේ සර්පයා ලෙසය. පොතින් දැනගත් ඔහු සමාජ මත කතාවෙන් සර්පයා වී ඇත්තේ ඇයිදැයි බෞද්ධ සම්මේලනයේ නුග ගහ යට සල්ලාපයෙන් පසු හිතන්න තරම් වදයක් දුන් පැනයන් වන්නේය.
             එක් අතකට අජිත් තිලකසේනයන් හා ටෙනිසන් පෙරේරා වැනි පුරෝගාමී සාහිත්‍යයිකයන් සමන් කුමාරගේ පූර්වගාමීන් බවට මතයකි. ඒ මතය සර්පයාගේ ගුරු කුලේ ඇත්තන්ගේම වියමනකි. ඒත් සමන් කුමාර ස්වීය උත්පාදනයක් බව මගේ වැටහීමයි. සමන් කුමාර නිසාම අජිත් තිලකසේනයන්ද, ටෙනිසන් පෙරේරාද කියවූ විට වඩා මැනවින් සමන් ස්වීය වී ඇති හැඩ විද්‍යාමානවේ. එහෙත් සමන් කුමාරද ඔහු හැදූ වැඩූ ඔහුට වැට බැඳි හා බලා කියා ගත් ගුරුකුලයෙහි වරදව ඇත්තේ සමන්ගේ සංකේත පියා සොයා ගත් වැරදි තැනය. එ්ත් දීප්ති කුමාර ගුණරත්න හා ජගත් මාරසිංහ සමන් කුමාරයන්ගේ නිර්මාණ පිතෘත්වය රොහාන් පෙරේරාට හෝ සූනියම් දෙවියන්ට සමපාත කරන සේයාවක් පෙනේ. මෙය ලාංකික පොළොවේ ඇති ලෙඩක් සේද පෙනේ. සැබැවින්ම වික‍්‍රමසිංහට, නවගත්තේගමට, අමරසේකරට, ජයකොඩි හා ජයතිලකට පූර්වගාමීන් නැති සේම සමන් කුමාරටද නැත. එසේ විණි නම් සමන් කුමාර සර්පයා සමඟ මියැදී බොහෝ කල්ය.
      ස්වකීය ප‍්‍රථම ගතම සංකේතයක්ද, ප‍්‍රතිභාවයක්ද කළ සමන්ගේ නිර්මාණ අරභයා කළ පුරෝකථන විචාරවල එයම නිර්මාණ විශ්මය ලෙස ලියැවේ. එහෙත් ඔහු තම මුල්ම පොත ලියා දස වසක් ඈවෑමෙන් රචිත ‘‘එසඳ මම බලා සිටියෙමි’’ චිචාර ඇසින් දුර්දශාවකට ගොදුරුව ගියේය. ඒ සාධනීය ලකුණුද ආසාධනීය ලකුණුද එකවිට එකට පෙන්වන සමන්ගේ පොත ඒ බව කියමිණි. එහෙත් ‘‘එසඳ මම බලා සිටියෙමි’’ පෙන්වන්නේ ලාල ලාලිත කවිත්වයකින් හෙබි සමන් කුමාරගේ  සදාර්ශනික විශ්ලේෂනවාදයේ සේම පුරාවිද්‍යා හා ජන ප‍්‍රවාද අතර පැතිර යන වියත් පාණ්ඩිත්වයය. සමන් කුමාර ගේ වට වළල්ලට සැමදා නොතේරෙන තැන මෙතනය. ඵෙතිහාසිකත්වය විසින් කලක අත්හදා බලා අධිපති කර තිබූ ඉන්‍ද්‍රජාලික සාහිත්‍යය සිංහල සාහිත්‍යයට කැදවූ සමන්ගේ භාෂා වික‍්‍රමය ‘‘ එසඳ මම බලා සිටියෙමි’’ යැයි සිතමි. ලාවන්‍ය හා හැඟීම් අතර එකට පෑහුනු දෘඩ බස වියමනක් වැනිය. හැඟීම් ජනනය හා කාවැද්දීමද ඔහු පේකර තනා ගන්නා බසෙහි ශූරත්වය කදිමට පෙන්වන තැන එතැනය. ‘‘සර්පයකු හා සටන් වැද’’ කුල්මත් විප්ලවය වූවා සේම ‘‘එසඳ මම බලා සිටියෙමි’’ පරිණත සාහිත්‍යය දෙසට වූ පිවිසුම සේ හැ‍ඟේ.
      මේ සියල්ල අතර ඔහුගේ උප නාමය වූ සර්පයා සොයා යෑමට සිත වැදුනු කුරුමානම කුමක්ද? ඇත්තටම ජාතිකවාදී අස්ථානය ප‍්‍රථම පේ‍්‍රමය කර ගත් අවධියක ‘‘සර්පයා’’ පුරාතනම නාග ආලය හා පෑහෙන්නට විය. චිරාගතවාදී සාහිත්‍යය සේ ඊනියා වම්මු ඇලවූ ලේබලය බිඳ වැටෙන්නේ මෙතනදීය. මායා යථාවාදය හෝ ඉන්‍ද්‍රජාලික යථාර්තවාදය වාම දහරාවට චිරාගත වුවද, සමන් කුමාරට නවීන වන්නේය. එතැනින් ජාතිකවාදයේ ආල අතුරයේ දිවි ගෙවූ අපේ ගෝත‍්‍රයට සමන් සංකේතයක් වන්නෝය. එම හැඟීම් තීව‍්‍ර කළේ ‘‘ නගා මැරූ අල’’ එළි දැක්වීමත් සමඟය. ජාතක පොත්වහන්සේගේ සිට පුරාතන සාහිත්‍යික හා සම්භාව්‍ය ග‍්‍රන්ථ පුරා දිව යන සර්ප ආලය නූතන සිංහල සාහිත්‍යයට කැරැළිකාරි ලෙසින් ගෙනාවේ ඇත්තටම සමන්ය. සමන්,...... සයිමන්ගේ දිගුවක්යැයි ඊළඟ වැරදි වැටහීම පැතිරෙන්නේ මීළඟටය. එහෙත් ටෙනිසන් පෙරේරා, අජිත් තිලකසේන මෙන්ම සයිමන් නවගත්තේගමගෙන්ද සමන් සපුරා බැහැර ගිය අනන්‍යතාවක්ම බව කිව යුතුය. සමන්- සයිමන් යුවලක් සේ ලාංකික සාහිත්‍ය කථාවතට එන්නේ සයිමන් වටහාගත් ඔහුගේ තීරුවේ ප‍්‍රථමයා සමන් වීමද සමන් වටහා ගත් ඔහුගේ තීරුවේ ප‍්‍රථමයා සයිමන් වීමද නිසාය. මේ අතර සයිමන් වීමේ ව්‍යාජ රැුල්ල සමන් ඔබා සඟවා ගැනීමේ කුහකත්වයට අවතීර්ණ විය. මේ අර්ථකන අධිපති වන්නේ මේ වෙන්ඩ සයිමන්ලාගෙන් යැයි සිතෙන්නේ එබැවින්ය.
    කොහොමින් කොහොම හෝ කේ. කේ. සමන් තම හැබෑ නමද ජනගත නමද නිසා අමුතු පුරුෂයකු වේ. ඒ අතර ඔහුට තිබූ නම් දෙකම ඓතිහාසිකය. සමන් නැමැති නම, සමන් දෙවියන් නිසා ද, සමන් ගල සමන් නිසා ද දෘඩ සමන් නිසා ද ඉතිහාස ගත නමකි. ඒ වගේම සර්පයා නාගයන් නිසාම ඓතිහාසිකය. සර්පයා රාගයේ සංකේතය මෙන්ම සිංහල ද්‍රවිඩ ජාතික මූලයන් හි ප‍්‍රාග් බෙදීමේ යටි පාදමද වේ. එබැවින් නාග සර්පයා නොවිසඳුනු ඓතිහාසික ගැටළුවකට උපත දුන් තැනකි. රාගය කොතරම් යට කර තැබුවද යළි යළි මතුවේ. කොටින්ම සමන් තම ‘‘සර්පයකු හා සටන් වැද’’ කථාව ගොතන මූලය මෙයය. රාගය සර්පයකු සේ අවදිවන්නේ යම් සේද ලංකාවේ දෙමළ කැරැල්ලද මුගුරෙන් තලා කඩුවෙන් කපා බෝම්බෙන් සුන්නද්දූලී කර දැමුවද රාග සර්පයා වගේමය. කුපිත වී නැගී සිටී. එබැවින් සමන් තෙමේ තම සාහිත්‍යයික නිර්මාණ වේශයට ප‍්‍රවේශ කර ගන්නා මේ ඉතිහාස ඉව නිසි තැන තබා කියවා ගන්න යත්න දැරීමක් නොවීය. අන් අතකින් මාරක අත්හදා බැලීමක් සමන් කරන්නේ ස්ත‍්‍රියකට බුදු විය හැකි යැයි ද, ස්ත‍්‍රිය බුදු විය යුතුයැයි ද, පතමින් සිතමින් තන්ත‍්‍රයානික සදාර්ශනිකත්වයේ බහා ගොතන ‘‘නේරංජනේ ඉස්නානේ’’ ඔස්සේය. එය එකල සිංහළ බෞද්ධ අන්තයේ පිළිකුලට ලක් විය. එනමුත් ජාතිකවාදය ඇතුළත හුන් නූතන ජාතිකවාදී ගෝත‍්‍රය සැබවින්ම එයින් ප‍්‍රහර්ශයට පත් වූ බව සිහි කළ යුතුය. මෙම පොත එළි දැකීිමත් සමග ස්තී‍්‍රවාදය හා බෞද්ධත්වය අතර ගැටීමක් මැද වුවද බැඳීමක් ඇති වූයේය. සැබැවින්ම සමන්ගේ ස්ත‍්‍රීවාදය වෙනම එකකි. ඔහුගේ ස්තී‍්‍රිවාදය අනුමාන සත්‍යයන් සහ ප‍්‍රායෝගික තත්ව අවබෝධයන් සම`ග පැටළුනු සිහිනයක් දැයි නොදැනෙයි. එය දන්නේ ඔහුම පමණි. ස්ත‍්‍රියවත් නොදන්නා ස්තී‍්‍රත්වය පුරුෂත්වයට ඉව කළ හැකි ඉමක් මිස අවබෝධ කළ හැකි විෂයක් වෙතැයි ඒ ගැන කිසිත් නොදන්නා මගේ සිතුවිල්ලය.
                කේ. කේ. සමන් කුමාර නම් විදග්ධයාට පහළ වන ඔහුගේම චින්තාවන් ඔහුට ලොව අභිමුව විවරණය කර ගැනීමට ගුරු කුල චින්තාවක් තිබීම සමන්ගේ සාහිත්‍යය ගොදුරුවූ ඛේදවාචකයයි. එහෙත් මෙතන අප මවිත කරන කරුණ එය නොවේ. පරපුරක් වශී කළ පන්හිඳක් බවට මේ අරුමැසියා පත් වී අඛණ්ඩව එ ගඟුල නොසිඳී ගලන සැටියය. ලේඛකයකු ලෙස පූර්ණකාලීනව ජිවත් වීම අතීශය අසීරුය. එලෙසම අදීන ස්වීයත්වයක සිට ගැනීමද උදා කර ගත නොහැකි හීන යුතෝපියාවක් වූ රටක සමන් මෙසේ සිතයි. කි‍්‍රයාකරයි. තිස් වසක් ඔහු පෑන අත් නොහැරම පැමිණ ඇත . ඔහු සමඟ ඇවිද ගිය සාතිශ්‍ය බහුතරය කීකරුව ඇති කලක සමන් තවමත් අකීකරුව දිවි ගෙවයි. ‘‘රස්තියාදුකාර ප‍්‍රාඥයා’’ ලෙස මම ඔහුව දකින්නේ එතනදීය. ලේඛකයකුට රස්තියාදුකාරයකු වීමට නොහැකි නම් ඔහු නිබඳ පණ ලබන, ඔද වඩන චින්තාවන්ගෙන් සපිරි මිනිසෙකු වන්නේ කෙසේද? ගෙයක් දොරක් තබා යාන වාහනයක සිහිනයද නොදකින තැනක සමන් පය ගසා ඇත. විටක බෝධිචර්යාවතය කියන පාරමිතාගාමියා සේය. ඉසුඹුවක් නැතුව ගමන් කරයි. සතහට මෙත පතුරවමින් සොයා යයි. ඒ නිසා සමන්ගෙන් නෙත් ලැබූ පරපුරක් සාහිත්‍ය නදියේ ඔරු පදිනු පෙනේ. ඇත්තටම සම්මත කොටු පවුරක් පුපුරවා දැමූ යගදාව වුයේ කේ. කේ. සමන් කුමාරය. නොබියව නිර්භයව හද හැඟීම් පද අකුරු කිරීමට පරපුරක් පෙළඹ වූයේ ඔහුය. ඇත්තටම නව සාහිත්‍ය යුගයේ අංකුරය ඔහුය. එහෙත් ඔහු දැන් විසල් රුකකි. පරාජය කළ නොහැකි, පරාජය නොහ`දුනන මිනිසෙකි. දර්ශණ, චින්තාවන්, දේශපාලනය, සාහිත්‍යය, ඉතිහාසය හා ජනප‍්‍රවාදද, ප‍්‍රඥා මාර්ගික බුදුදහමද එකට එක විට කලතා ගනිමින් එකට ලියවිය හැකි ලේඛකයාය. යටත් නොවන ඔහු සටන් නොවදින මිනිසෙකු වී ඇත . ජිවිතය නම් සංකීර්ණ තාලය තුමූම අවබෝධ කරගනිමින් ලේඛකයකු මිස වෙන කවුරුවත් නොවී සිටියි . එහෙත් සමන් තිස් වසක් ඇවෑමෙන් වෙනස් වී ඇත . මෙලෙස ලියා තැබූ විට කළබල වන්නේ ඔහුගේ ජීවන ශෛලියෙන් හා පද මිහිරෙන් ආතුර වූවෝය. සියල්ලෝ වෙනස් වන ගමන් වෙනස් නොවන මිනිසෙක් පතයි. තමන් ආත්මාර්ථයේ සැඩ පහරට ගොදුරු වී මජරයකු වෙමින් සදා දුකේ දුක් වි`දින මහා පුරුෂයන් පතයි. එය හරියටම කලිසම තම ඇඳුම කරගෙන රෙද්ද බැනියම අඳින ජාතික නායකයන්ට ඡන්දේ දෙන සිංහලයන් වගේමය. එහෙත් කිසිවෙක් කළබල නොවිය යුතුය. සමන් වෙනස්ව ඇත්තේ මජරත්වය දෙසට නොව මහා සම්ප‍්‍රදාය සොයාය. එහෙත් කිව යුතු ශෝකී කථාව එය නොව සමන් ස්වකීය පෘතුලත්වය නිසා ඇතුළ් කරගෙන ඇති වෙනස් වීම නොතේරෙන තැනය. විටක මට සිතෙන්නේ ඔහු ඔහුම අවබෝධ කර නොගැනීමය. ඉතින් සර්පයා හැව හැර දැමිය යුතුය. සර්පයා හැව හැර දමන්නේ නිස්සාරත්වය පිණිස නොව සාරත්වයේ ඊළග එළඹුමටය. සිංහල සාහිත්‍යයට සිටින එකම සර්පයා කේ. කේ. සමන් කුමාරය. සර්පයාට පුතුන් නැති සේම සර්පයාට දියණියන්ද නැත. සර්පයා සිතිය යුතු ගැඹුරුම තැන එතැනය. අරුමැසියාට තිස් වසරකි. සමන් කුමාරට පනස් වසරකි. ලේඛකයකු තරුණ වන්නේ පනස් වියේදී යැයි මට කීවේ සයිමන් නවගත්තේගම හා ජයසේන ජයකොඩිය. ඒ දෙපළම නික්ම ගොස්ය. සමන් අයියේ උඔට පුරවන්නට මහත් අවකාශයක් ඇත. එබැවින්ම සර්පයා සමඟ ‘‘නාගහ පාර’’ ගැන උදාන වන්නට බලා සිටිමි. මන්ද අයියාත් නංගීත් රමණයේ යෙදීමෙන් ඇරඹුනු මහනාම හිමියන්ගේ ‘‘මහා වංශය’’ මහා සම්මතය වූ රටක තාත්තාත් දුවත් රමණ සුවය විඳි ‘‘සර්පයකු හා සටන් වැද’’ අසම්මතය වූයේ ඇයි දැයි විමසිය යුතුම වේ.

සුජිත් අක්කරවත්ත 

                 



Sunday, March 2, 2014

1984දී ‘සර්පයකු හා සටන් වැද’ නමින් කෙටිකතා එකතුවක් පළ කළ කේ.  කේ.  සමන් කුමාර ද මෙරට තරුණ ලේඛකයන් අතර සිය අනන්‍යතාව තහවුරු කර ගත් කෙටිකතාකරුවෙකි.  සම්මත කෙටිකතා ආකෘතිය ප‍්‍රශ්න කිරීමට පෙළඹුණු තරුණ ලේඛකයන්ගේ ප‍්‍රමුඛත්වය සමන් කුමාරට හිමි වෙයි.
-කමල් පෙරේරා (සාහිත්‍ය උත්සව විශේෂ කලාපය- 1994)

Tradition(s) and individual talent in Sinhala writing



It has always been my opinion that the literary output in Sinhala is qualitatively much superior to that in English. The kind of artistic experimentation - and successful experimentation at that - one finds in contemporary Sri Lankan writing in Sinhala is both unprecedented and impressive. When on the one hand novelists such as Liyanage Amarakeerthi (‘Atawaka Putthu’) and Sunethra Rajakarunanayake (‘Podu Purushaya’) amongst others, have brought into their novelistic craft elements from post-realistic fiction and improvised them successfully, on the other, acclaimed writers of short-fiction such as Ajith Thilakasena, Nissanka Wijemaanne and K. K Saman Kumara, have absolutely radicalised Sinhala short-fiction both in terms of style and content.
Dhanuka Bandara , NATION,  Sunday, 12 February 2012 ,Tradition(s) and individual talent in Sinhala writing