Friday, March 11, 2011

කූඹී කෑවට පස්සෙ..

ඈ විදුහල් භූමිය සිසාරා බලුවා...
ගස්,වැල්,ආරුක්කු,දැවැන්ත ගොඩනැගිලි සියල්ල ක්ශණයකින් ඒ බැල්මට හසුවූ නමුත් කිසිවක් ඇගේ රැකවරණය පිණිස නොවීය.
හැම දේම මග හරිමින් ඈ ඒ මේ අත දිව යන්නට පටන් ගත්තා.
ජංගම දුරකතනයක් මිට මොලවාගෙන තමන් ලුහුබැඳ එන ප්‍රිෆෙක්ට් අක්කාගේ අඩි සද්දය දැරිවියට දැන් ලඟ ලඟ ම ඇසේ.එතරම් වේගයෙන් දිව යා ගත නොහැකි ප්‍රින්සිපල් මැඩම්,විනය භාර ගුරුතුමී.ක්ලාස් ටීචර් එක පොකුරකට තමන් පසුපස ලුහු බඳින හැටි ඇයට දැන් දැන් මැවි මවී පෙනේ
සැනෙකින් කොහේදෝ දොරක් ඇරෙන හඬ ඇයට ඇසුණි.මෙතෙක් ඇයට අමතකව ගොස් තිබුණු වැසිකිළි දොරක් අයට අත වැනුවා
අසුරු සැණින් ඈ වැසිකිළිය තුළට වැදෙන විටම වැසිකිළිය තම දොර වසාගත්තා.මොහොතක් ඒ වැසිකිළි දොරෙහි තම හිස හොවාගත් දැරිය හති මුසු සුසුම් හෙලුවා.තම ජීවිත කාලය තුළ කිසිම දවසක වැසිකිළිය මෙතරම් සුරක්ශිත හඟීමක් ඇය තුළ දනවා තිබුණේ නැහැ.ඈ වැස්කිළියෙහි බිත්ති සෙමින් පිරිමැද්දා.සිපගත්තා.
වැසිකිළිය වටා පොදිකන වියරු මුහුණක් දැන් ඇයට මැවී පෙනෙනවා.අඩි සද්ද,දොර පහුරු ගාන හඬ,දොරට තඩිබාන හඬ ටිකෙන් ටික වැඩි වැඩි වෙමින් වියරුවෙන් පොදිකන මුහුණු ගණන තව තවත් වැඩිවෙද්දී වැසිකිළියේ බිත්ති කම්පනය වෙන හඬ ඇයට ඇසුණා.
ඇය හිස ඔසවා ඉහළ බැලුවා.සර්ප රංචුවක් මෙන් එක පොදියට අත් සිය දහස් ගණනක් වැසිකිළියේ කවුලු තුළින් ඇය දෙසට බඩගා එමින් සිටියා.ඇය වැසිකිළි බිත්තියෙහි හිස හොවා නෙත් පියාගත්තා.
ටිකෙන් ටික ලං වූ සර්ප අත් මියුසියස් ටයි පටියෙන් අල්ලාගත්තා.හැබැයි, දැරිය ඇස් ඇරියේ නැහැ.ඈ මදින් මද ඉහළට එසවුණා.වහලය දක්වාම එසවුනා.වහළයේ සිදුරු අතරින් තවත් ඉහළට එසවුනා.තවත් ඉහළට එසවුනු පසු ඇයට හැම දෙයම පැහැදිළිව පෙනෙන්න පටන් ගත්තා.
තමාගෙන් පැහැර ගත් ජංගම දුරකතනය මිටමොළවා
ගෙන සිටින ප්‍රිෆෙක්ට් අක්කා,ප්‍රින්සිපල් මැඩම්,විනය භාර ගුරුතුමිය,ක්ලාස් ටීචර්,තව තවත් ගුරුවරු,පන්තියේ යාලුවෝ..
....අන්න තාත්තා,අම්මත් ඇවිත්,නෑදෑයොත් ඇවිත්,කැමරා උස්සගෙන පත්තර කාරයෝත් ඇවිත්,ජීවිතේට දැකලා නැති උන්,තව එනවා - තව එනවා - තව එනවා.. කූඹී වගේ..
මොක්කුද මේ..?ඇයි මේ?කඩි ගුලක් ඇවිස්සිලා වගේ....තෙල් කූඹී,කලු කූඹී,නයි කූඹී...කූඹී ... කූඹී..


සී දොඩාවත්ත.

No comments:

Post a Comment